“මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් තහනමක් පනවා ඇත” යනුවෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය හා පදනම් විරහිත බව උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගන් මහතා නිල නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

ආණ්ඩුකාර ලේකම් කාර්යාලය විසින් එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති අතර ඒ පිළිබඳව කිසිදු සාකච්ඡාවක් පවා සිදුව නොමැත. දීර්ඝ කාලයක් තිස්සේ ජන කොටස් අතර පවතින ජාතික හා ආගමික සංහිඳියාව විනාශ කිරීමේ සහ ජනතාව අතර ව්‍යාකූලත්වයක් ඇති කිරීමේ ද්වේෂසහගත අරමුණින් ඇතැම් පිරිස් විසින් මෙම ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය කර ඇති බව එහි සඳහන් වේ.

මෙම ව්‍යාජ සමාජ මාධ්‍ය ප්‍රචාරයන්ට එරෙහිව දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නිල පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.

එබැවින්, මෙවැනි පදනම් විරහිත ව්‍යාජ ප්‍රවෘත්ති විශ්වාස නොකරන ලෙසත්, ජාතික හා ආගමික සංහිඳියාව මෙන්ම සාමය ආරක්ෂා කරගනිමින් කටයුතු කරන ලෙසත් ආණ්ඩුකාරවරයා සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටී.