රාජ්‍ය සේවයේ වැටුප් ගැටලු එක් එක් ක්ෂේත්රයට වෙන්ව විසඳීම වෙනුවට, සමස්ත සේවයේ සමතුලිතතාව රැකෙන පරිදි වැටුප් කොමිෂන් සභාව හරහා විසඳුම් සෙවිය යුතු බව අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
වෘත්තීය සමිතිවලට සිය වැටුප් ගැටලු සහ යෝජනා දෙසැම්බර් 31 වැනිදාට පෙර රාජ්‍ය සේවා වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවට ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇති බවත්, එහි නිර්දේශ ලැබීමෙන් පසු අදාළ පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එක් වෘත්තීය කණ්ඩායමක වැටුප් ගැටලුවකට පමණක් අයවැයෙන් වෙනම විසඳුමක් ලබාදීම රාජ්‍ය සේවයේ අනෙකුත් ක්ෂේත්රවලටද බලපෑ හැකි බව ඔහුගේ අදහසයි. ජීවන වියදමද සැලකිල්ලට ගෙන සාධාරණ විසඳුමක් සකස් කිරීම සඳහා කොමිෂන් සභා ක්‍රමවේදය වඩා ප්‍රායෝගික බව ඔහු පැවසීය.
නොවැම්බර් 19 වැනිදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ලාල්කාන්ත මහතා පිළිගත්තේ, රජය මූලික වැටුප් ඉහළ දමා තිබුණද ජීවන වියදමට සරිලන වැටුප් වැඩිවීමක් තවමත් ලබාදී නොමැති බවයි.
අයවැයෙන් සේවකයන්ගේ සියලු ගැටලුවලට විසඳුම් ලබාදිය නොහැකි බව පැවසූ ඔහු, ඇතැම් කරුණු අමාත්‍යාංශ මට්ටමේ සාකච්ඡා මඟින් විසඳාගත හැකි බවද සඳහන් කළේය. නොවිසඳුණු ඉල්ලීම් වෙනුවෙන් සාකච්ඡා කිරීමට සහ විරෝධතා පැවැත්වීමට වෘත්තීය සමිතිවලට ඇති අයිතියද අමාත්‍යවරයා පිළිගත්තේය.
