2022 වසරෙහි ගාලු මුවදොර ”ගෝඨා ගෝ ගම” අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයන්ට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව මාසයක් ඇතුළත අධි චෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන වග නීතිපතිවරයා විසින් ඊයේ (25) දින ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන ලදී.
අදාළ සිද්ධියේ සැකකරුවකු ලෙස දේශබන්දු තෙන්නකෝන් නම් කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ ලිපියක් බල රහිත කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවකට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ඇපෑලක් කැඳවා ඇති අතර එම අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදු කෙරිණි.
ඒ.එච්.එම්.ඩී. නවාස්, අචල වෙංගප්පුලි සහ සම්පත් විජේරත්නගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් අධිකරණයට දැනුම් දෙන ලද්දේ වග උත්තරකාර දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අධිචෝදනා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පැවසුවේ දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව මාසයක් තුළ අධි චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවයි.
එම අවස්ථාවේදී දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයාට විරුද්ධව අධි චෝදනා ගොනු කරන්නේ නම් මෙම නඩුකර පවත්වාගෙන යාම පල රහිත බව සඳහන් කරන ලදී.
කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම පෙත්සම යළි සැප්තැම්බර් මස 2 වැනිදා කැඳවීමට නියම කරන ලදී.





