වර්තමානයේ මහජන ආණ්ඩුවක් නිර්මාණය කර තිබෙන බවත්, පසුගිය මහජන අරගලයට මේ ආණ්ඩුව ගරු කරන බවත් ඊට විශ්වාසය පල කරමින් වටිනාකම ලබාදෙන බවත් නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ප්‍රකාශ කරන ලදී.
ඒ ඊයේ (16) දින කොළඹ 14, සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ ඉදිවෙන ‘ස්ටේඩියම්ගම’ නිවාස සංකීර්ණයේ ක්ෂේත්‍ර පරීක්ෂාවට එක් වීමෙනි.

”අරගලය සම්බන්ධව නඩු තුන්සීයක් පමණ තිබෙනවා. තුන්දහසක පමණ සංඛ්‍යාවක් සැකපිට විවිධ අධිකරණ වෙත යොමුකර තිබෙනවා. ජනතාවාදී රජයක් ලෙස මේ අරගලයට අපි පක්ෂපාතියි. එය මහජන නැගිටීමක්. ඒගැන කිසිදු විවාදයක් නැහැ.”

මහජන අරගලය, රට බංකොලොත් කර දේශපාලන වශයෙන් රට ආගාධයට ඇද දැමීමේ ප්‍රතිඵලයක් වන බවත් සාමකාමී අරගලයට රාජපක්ෂ කල්ලිය ඉතාමත් සැලසුම් සහගතව ඇමතිවරු පාවිච්චි කොට ප්‍රහාර එල්ල කළ බවත් ප්‍රකාශ කරමින් එතුමා කියා සිටියේ මහජන අරගලයට යුක්තිය ඉෂ්ඨ විය යුතු බවයි.

එසේම අරගලය අපරාධයක් බවට පත්කළ රාජපක්ෂලා ඇතුලු අපරාධකරුවන්ට අනිවාර්යයෙන් දඩුවම් දීමට අවශ්‍ය බවද එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.