රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පවසන්නේ පවුල් සංස්ථාව බිඳවැටීම හේතුවෙන් දරුවන් අනාථ වීම සහ ළමා අපයෝජන ඉහළ යාම දැඩි සමාජ ගැටලුවක් බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන ඉලක්කය වයස අවුරුදු 11 සිට 17 දක්වා දරුවන් බවත්ය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පුත්තලම දිස්ත්‍රික්කයේ පල්ලම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය. පසුගිය මාස පහක කාලය තුළ පල්ලම ප්‍රදේශයෙන් ළමා අපයෝජන සිද්ධීන් 9ක් වාර්තා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද එහිදී අනාවරණය විය.

අමාත්‍යවරයා අවධාරණය කළේ දරුවන් අනාථ වීමේදී පවුල් පසුබිමේ බලපෑම ඉතා විශාල වන අතර එවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා මහජන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් සහ පුරවැසියන් සියලු දෙනාගේ වගකීම අත්‍යවශ්‍ය බවයි.

රජය “ඉවත්වනු” නමින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති අතර මත්ද්‍රව්‍ය ජාවාරම මුළුමනින්ම තුරන් කිරීම රජයේ ඉලක්කය බව අමාත්‍යවරයා පැවසීය. මෑත කාලීන වැටලීම්වලදී අයිස් සහ හෙරොයින් වැනි මාරාන්තික මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති අතර එම ජාවාරම් පිටුපස සංවිධානාත්මක කණ්ඩායම් ක්‍රියාත්මක වන බවද ඔහු අනතුරු ඇඟවීය.

පොලිසියට තොරතුරු ලබාදීමට බියක් හෝ අපහසුතාවක් ඇත්නම් වයඹ පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත සෘජුවම දැනුම් දිය හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.