ගල් අඟුරු සම්බන්ධව මතුව ඇති ප්‍රශ්නය සම්බන්ධව කරුණු අධ්‍යයනය කිරීම සඳහා ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඒ අනුව, මේ සඳහා මොරටුව විශ්ව විද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරුන්ගෙන් ද, අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් ද සමන්විත කමිටුවක් පත් කිරීමට තීරණය වූ බව ඊයේ (24) දින පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

ගල් අඟුරු ගෙන ඒමේදී අතීතයේදීද මෙවැනි සිදුවීම් සිදු වන්නට ඇති බවත්, නමුත් ඒවා නිසි පරීක්ෂාවකට ලක්ව නොමැති බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

‘ගොඩබාන අවස්ථාවේදී ගන්නා වාර්තා පරස්පර වුවහොත් සිදු කරන්නේ කුමක්ද’ යන්න සාකච්ඡාවට ලක්වන පළමු අවස්ථාව මෙය වන බවද එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.