මීට පෙර මැතිවරණයකදී ජනතාව ඡන්දය ලබාදී වසර කිහිපයක් බලා සිටින තත්ත්වයක් පැවති නමුත්, වර්තමානයේ ගමේ පාලනයට සෘජුව සම්බන්ධ වීම සඳහා ජනතාවට අවස්ථාව ලබාදී ඇති බව අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා ප්‍රකාශ කරන ලදී.

ප්‍රාදේශීය සභා හරහා ගමේ පාලනයට ජනතාව සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය බලතල සහ ප්‍රතිපාදන ලබාදී ඇති බවත්, ඉදිරියේදී එම ප්‍රතිපාදන තවදුරටත් වැඩි කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ප්‍රාදේශීය සභා මට්ටමින් විසඳිය නොහැකි ගැටලු ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව හරහාත්, එතැනින්ද විසඳිය නොහැකි ගැටලු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව හරහාත් විසඳා ගැනීමට හැකියාව පවතින බව ඔහු පැවසීය.

අමාත්‍යවරයා සඳහන් කරන ලද්දේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා ලෙස තමන් කටයුතු කරන බවත්, එම කමිටුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලුදෙනාම සම්බන්ධ වන බවය.

ජනතාවගේ ආරක්ෂාවට බලපාන ගස් ඉවත් කිරීම වැනි සරල ගැටලු පවා කඩිනමින් විසඳිය යුතු බව පෙන්වා දුන් ඔහු, ජනතාවට අවශ්‍ය සේවා ලබාදීමේ වගකීම නිසි පරිදි ඉටු කළ යුතු බව අවධාරණය කළේය.

ප්‍රතිපත්ති තීරණ ගැනීම හා ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම ආණ්ඩුවේ වගකීමක් වන අතර, එම තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>