කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල හදිසි ජල ගැලීම් අවම කිරීම සඳහා අවහිර වූ කාණු සහ ඇළ මාර්ග පිරිසිදු කිරීමේ ඒකාබද්ධ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ජලය බැස යෑමට බාධා ඇති ස්ථාන 60ක් හඳුනාගෙන ඇති අතර, වැඩි අවදානම් සහිත ප්‍රදේශවලට ප්‍රමුඛත්වය ලබාදී ඇත.

නොවැම්බර් 6 වැනිදා පැවැති දැඩි වර්ෂාවෙන් පසු ආරම්භ කළ වැඩසටහනට කොළඹ මහ නගර සභාව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ යුද හමුදාව සම්බන්ධ වී සිටියි.

නාරාහේන්පිට, බම්බලපිටිය, වැල්ලවත්ත, කිරුළපන, දෙමටගොඩ සහ මැද කොළඹ ඇතුළු ප්‍රදේශවල කටයුතු සිදුකෙරේ. ඇළ මාර්ගවල එක්රැස් වූ කසළ, රොන්මඩ සහ වෙනත් අවහිරතා ඉවත් කර වැසි ජලය ගලායෑම යථා තත්ත්වයට පත් කිරීම එහි ක්ෂණික අරමුණයි.

දෙමටගොඩ සර්පන්ටයින් ඇළ, ටොරින්ටන් ඇළ, දෙහිවල ඇළ සහ කිරුළපන ආශ්‍රිත ඇළ මාර්ගද පිරිසිදු කිරීමේ වැඩසටහනට ඇතුළත්ය.

හදිසි ආපදාවකදී ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට කොළඹ මහ නගර සභාවේ ප්‍රධානත්වයෙන් විශේෂ කාර්ය කණ්ඩායමක් පිහිටුවන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා නොවැම්බර් 7 වැනිදා උපදෙස් දී තිබේ. ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ අදාළ රාජ්‍ය ආයතන ඊට එක් කිරීමට නියමිතය.

දිගුකාලීන විසඳුමක් ලෙස ජලාපවහන පද්ධතියේ ධාරිතාව වැඩි කිරීම, පවතින කාණු පුළුල් කළ යුතු ස්ථාන හඳුනාගැනීම සහ අලුත් කාණු අවශ්‍ය ප්‍රදේශ තීරණය කිරීම සඳහා ඉංජිනේරුවන් සැලසුම් සකස් කරමින් සිටින බවද වාර්තා වේ.

පිරිසිදු කිරීමෙන් පසු අඛණ්ඩ නඩත්තුව සහ ආයතන අතර ඒකාබද්ධ අධීක්ෂණය පවත්වාගෙන යෑම වැඩපිළිවෙළේ තවත් අරමුණකි. ජල මාර්ග අවහිර කරන අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී බලපෑමට ලක්වන පදිංචිකරුවන්ට විකල්ප ස්ථාන සැලසීම පිළිබඳවද අවධානය යොමුකර තිබේ.