කොලොන්නාව මැතිවරණ කොට්ඨාසයේ ගංවතුර අවදානමට තිරසාර විසදුම් ලබාදීම සඳහා සිව් වසරක ඒකාබද්ධ සංවර්ධන සැලැස්මක් ආරම්භ කර ඇත.
මෙය ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීම මත ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාව මගින් ක්‍රියාත්මක කෙරේ.

ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකරගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අතර මෙහිදී පාලනයට අවශ්‍ය ඉදිරි සැලසුම් හා ගැටළු පිළිබඳව විස්තරාත්මකව සාකච්ඡා කරන ලදී.

2018 වසරේ ආරම්භ කළ ගංවතුර පාලන ව්‍යාපෘතිය අසාර්ථක වූ බැවින් එහි දෝෂ සහිත සැලසුම් සංශෝධනය කර බහු ප්‍රතිලාභ සැලසෙන නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

මේ යටතේ රු. මිලියන 10,000 මුල්‍ය ප්‍රතිලාභ වෙන්කර ඇති අතර වර්ග කි.මී. 17ක වපසරියක් ගංවතුර පාලනයට අන්තර්ගත වන අතර, පවුල් 40,000කට සෘජු ප්‍රතිලාභ ලබාදීමට අපේක්ෂා කෙරේ.

ව්‍යාපෘතිය යටතේ ජලපාලන ගේට්ටු නවීකරණය, ජල රැදවුම් පොකුණු ඉදිකිරීම, ඇල මාර්ග ප්‍රතිසංස්කරණය, කාණු පුළුල් කිරීම, අවිධිමත් ඉදිකිරීම් ඉවත් කිරීම යනාදිය සිදුකෙරේ.