2030 වන විට ශ්රී ලංකාවේ නිමි තේ නිෂ්පාදනය කිලෝ මිලියන 400 දක්වාත්, තේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 දක්වාත් ඉහළ නැංවීමේ අරමුණින් “Ceylon Tea Village” හෙවත් පොකුරු තේ ගම්මාන 500ක් පිහිටුවීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්යාංශය පියවර ගෙන තිබේ.
මෙම වැඩසටහන පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ හමුවක් අද (24) පාර්ලිමේන්තු සංකීර්ණයේදී වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්ය සමන්ත විද්යාරත්න මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය, ශ්රී ලංකා තේ පර්යේෂණ ආයතනය, ශ්රී ලංකා තේ මණ්ඩලය සහ ජාතික වැවිලි කළමනාකරණ ආයතනය එක්ව ක්රියාත්මක කරන මෙම වැඩසටහන මඟින් කුඩා තේ වතු ගොවීන්ගේ අස්වැන්න හා ආදායම ඉහළ නැංවීම, අගය එකතු කළ තේ නිෂ්පාදන හඳුන්වාදීම, තේ කර්මාන්තය සංචාරක කර්මාන්තය සමඟ ඒකාබද්ධ කිරීම සහ ගම්මාන ආශ්රිත යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අපේක්ෂා කෙරේ.
අමාත්යවරයා සඳහන් කළේ 2026 වසර තුළ පළමු අදියර ලෙස දිස්ත්රික්ක 14ක් ආවරණය වන පරිදි තේ ගම්මාන 144ක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි. ජූලි 15 වැනිදා මෙම වැඩසටහන නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය.





