ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ 2025 මූල්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වන “දේශගුණික සුහුරු කෘෂිකාර්මික ප්‍රජා ගොවිපල ව්‍යාපෘතිය” ඊයේ (10) දින කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ කන්දවලායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිරමත්තාරු ග්‍රාම සේවා වසමේ ආරම්භ කරන ලදී.

රුපියල් මිලියන 76ක වියදමින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහායද ලබාගෙන ඇත.

මෙම ගොවිපල තුළ නවීන තාක්ෂණය යොදා ගනිමින් බිංදු ජල වහනය සහ විසිරි ජල වහනය භාවිතයෙන් හරිතාගාරවල ඉහළ වටිනාකමින් යුතු කෘෂි නිෂ්පාදන වගා කිරීමට සැලසුම් කර ඇති අතර කැවෙන්ඩිෂ් කෙසෙල්, කොමඩු සහ මිරිස් වර්ග වගා කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.

අක්කර 15ක භූමි භාගයක විසීරී ඇති මෙම ගොවිපල තුළ කන්න කිහිපයක් යටතේ වගාවන් සිදුකරන අතර, ප්‍රදේශයේ දිළිඳු පවුල් විශාල ප්‍රමාණයකට ආදායම් අවස්ථා උත්පාදනය කිරීමටද හැකිවනු ඇත.