ආබාධ සහිත දරුවන්ගේ රැකවරණය සහ කුසලතා සංවර්ධනය වෙනුවෙන් ඉදිකෙරෙන “සුරක්ෂා” කුසලතා සංවර්ධන හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන වැඩසටහන යටතේ කෑගල්ල, තෝලංගමුවේ දෙවන මධ්‍යස්ථානය ඊයේ (29) ජනතා අයිතියට පත් කෙරිණි.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල සහ පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාව පැවැත්විණි.

මෙම මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා අපේක්ෂිත මුළු වියදම රුපියල් මිලියන 125ක් වන අතර, එහි පළමු අදියර මෙහිදී ආරම්භ කෙරිණි.

දිවයිනේ සෑම පරිපාලන දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි “සුරක්ෂා” මධ්‍යස්ථාන 25ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර, 2026 වසර තුළ මධ්‍යස්ථාන 10ක් ඉදිකිරීමට අපේක්ෂිතය.

අමාත්‍ය උපාලි පන්නිල මහතා මෙහිදී සඳහන් කරන ලද්දේ ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ නිවැරදි දත්ත රැස් කිරීම සඳහා ඉදිරි මාස කිහිපය තුළ ඩිජිටල් දත්ත පද්ධතියක් සකස් කිරීමට නියමිත බවයි.

මෙම මධ්‍යස්ථාන මගින් ආබාධ සහිත දරුවන්ගේ කුසලතා සංවර්ධනයට මෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ට දෛනික හා රැකියා කටයුතු බාධාවකින් තොරව සිදුකර ගැනීමට අවශ්‍ය සහනයක් ලබාදීම අපේක්ෂා කෙරේ.