හාලිඇල සහ ඌවපරණගම ප්‍රදේශ යා කෙරෙන කෙටිම මාර්ගය වන, දැනට අනාරක්ෂිත තත්ත්වයක පවතින ඓතිහාසික හලාබ පාලම කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම වෙනුවෙන් විශේෂ නිරීක්ෂණ චාරිකාවක් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා විසින් ඊයේ (24) දින සිදු කරන ලදි.

වසර 100 කට වඩා පැරණි ඉතිහාසයකට හිමිකම් කියන හලාබ පාලම, ලෝහමය යකඩ මත ලෑලි තට්ටු යොදා නිර්මාණය කර ඇති, පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ද නම් කර ඇති සුවිශේෂී ස්ථානයකි.

දීර්ඝ කාලයක සිට නිසි නඩත්තුවක් නොමැති වීම හේතුවෙන් මේ වන විට එහි ස්ථාන කිහිපයකම ලෑලි දිරාපත් වී ව්‍යුහය දුර්වල වී ඇතත්, ප්‍රදේශවාසීන් තවමත් ජීවිත අවදානම නොතකා එහාමෙහා යාම සඳහා මෙම පාලම භාවිත කරති.

මෙම ඓතිහාසික මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් පාලම කඩිනමින් සංරක්ෂණය කිරීම සඳහා ඌව පළාත් සංචාරක අමාත්‍යාංශය මඟින් රුපියල් ලක්ෂ 50 ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇත.

මීට අමතරව, පසුගියදා බලපෑ ‘දිට්වා’ සුළි කුණාටු ආපදා තත්ත්වය යටතේ ප්‍රතිසංස්කරණය කළ යුතු පාලමක් ලෙස ද සලකා, අවශ්‍ය ඉතිරි ප්‍රතිපාදන ද යොදවමින් මෙය අංගසම්පූර්ණ ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර තිබේ.