වසර 100 කට ආසන්න වන ශ්‍රී ලාංකික නියෝජන ප්රජාතන්ත්රවාදය අභියෝගයට ලක්වීම පිලිබදව කණස්සල්ල හා විරෝධය ප්‍රකාශ කරමින් දිනන දකුණ සාමූහිකය විසින් මාධ්‍ය නිවේදනයක් පළ කරන ලදී.
එම නිවේදනයෙන් ඔවුන් ප්‍රකාශ කරන ලද්දේ,
”2017 වසරේ සිට මේ දක්වා (වසර 9 කට ආසන්න කාලයක්) පළාත් සභා මැතිවරණ නොපැවැත්වීම නිසා සමස්ත පළාත් සභා මහජන නියෝජිත ක්‍රියාවලියම අඩපණ වී පවතී.
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්රකාශනය මඟින් දීර්ඝ කාලයක් තිස්සේ කල් දමා ඇති පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන බවට පොරොන්දු දී තිබුණි.
එවන් පසුබිමක රට තුළ පවතින වත්මන් තත්ත්වයන් හේතුවෙන් පළාත් සභා මැතිවරණය මෙම වසර තුළ පැවැත්වීමට නොහැකි වනු ඇති බවත්,ඒ පිළිබඳව සොයා බැලිය හැක්කේ ලබන වසරේදී පමණක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා යාපනයේදී ප්‍රකාශ කර තිබිණි.
මෙම ප්‍රකාශය නිකුත් වීමත් සමඟ වත්මන් පාලන ක්‍රමවේදය සහ මැතිවරණ තීන්දුවලට පක්ෂ ලේකම්වරුන් බලපෑම් කරන්නේ කෙසේද යන්න පිළිබඳව දැවැන්ත මහජන විවේචනයක් සහ කතාබහක් නිර්මාණය වී තිබේ.
2017 අංක 17 දරන පනතේ පවතින ‘මිශ්‍ර සමානුපාතික ක්රමයේ’ සීමා නිර්ණ වාර්තාව 2018 දී පාර්ලිමේන්තුවේදී පරාජය වීම නිසා මැතිවරණ කොමිෂන් සභාව නීතිමය අවහිරතාවයකට මුහුණ දී සිටින බව සැබෑවකි.
නමුත් ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව සහ පාර්ලිමේන්තු තේරීම් කමිටුව මැදිහත් වී විසඳිය යුතු මෙවැනි බැරෑරුම් නීතිමය ගැටලුවක්,
පක්ෂ ලේකම්වරයෙකු විසින් මේ වසරේ ඡන්දය නැතැයි කල් තියා නිදහසට කරුණු කියමින් ප්‍රකාශ කිරීම වත්මන් රජය තුළින් ජනතාව බලාපොරොත්තු වූ ක්‍රම වෙනස දැයි අප ප්‍රශ්න කර සිටින්නෙමු.
තම පක්ෂයේ නියෝජිතයෙකු රටේ විධායක ජනාධිපතිවරයා බවට පත් වූ පමණින්,එම පක්ෂයේ ලේකම්වරයාට රාජ්‍ය තන්ත්රයේ තීන්දු තීරණ ගැනීමට හෝ ඒවාට බලපෑම් කිරීමට කිසිදු ව්‍යවස්ථාපිත බලයක් හිමි නොවන බව පෙන්වා දීමට කැමැත්තෙමු.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ විධායක බලය සහ රාජ්‍ය තීන්දු ගැනීමේ පරම බලය පවතින්නේ ජනාධිපතිවරයා සහ අදාළ නිල රාජ්‍ය ආයතන සතුව පමණක් වන අතර,පක්ෂ දේශපාලනය සහ රාජ්‍ය පාලනය එකක් නොව දෙකක් බව වත්මන් පාලකයන් වටහා ගත යුතු බව දිනන දකුණ සාමූහිකයේ විශ්වාසයයි.
මෙවැනි පසුබිමක් යටතේ පාර්ලිමේන්තුවද, ස්වාධීන මැතිවරණ කොමිසමද බල රහිත ආයතන බවට පත්වී ඇති බව පෙනෙන්ට තිබේ.
ඒ අනුව දැනට පෙනීයන්නේ ශ්‍රී ලංකා රාජ්‍ය දේශපාලන පක්ෂයක පාලනයට නතුවී තිබෙන ආකාරයකි.”





