ශ්‍රී ලංකාවට දෙදින නිල සංචාරයක නිරත වූ ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා අද (19) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වීය.
ජනාධිපති කාර්යාලයේදී පැවති මෙම හමුවේදී දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු විය. ආර්ථික, අධ්‍යාපන, සෞඛ්‍ය, සංචාරක, ආයෝජන සහ වෙළෙඳ ක්ෂේත්රයන්හි සහයෝගීතාවය වර්ධනය කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
ඉන්දීය උප ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාවේ නිවාස ව්‍යාපෘති සහ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රදේශ සඳහා ලබා දුන් ඩොලර් මිලියන 450ක සහාය පිළිබඳවද විස්තර කරනු ලැබීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාවෙන් ලැබෙන ආර්ථික සහ සමාජීය සහාය අගය කරමින්, මානව සම්පත් සංවර්ධනය සහ රාජ්‍ය අංශ ඩිජිටල්කරණය සඳහා ඉන්දියාවේ සහය අපේක්ෂා කරන බව පැවසීය.
ධීවර ගැටලු පිළිබඳවද දෙපාර්ශ්වයම සාකච්ඡා කර, ස්ථිරසාර විසඳුමක් සෙවීමේ අවශ්‍යතාවය අවධාරණය කරන ලදි.





