දිට්වා ආපදාවෙන් විපතට පත්ව අධ්‍යාපනය හැදෑරීමට අපහසු වී ඇති සිසුදරුවන් හට විභාග ඉලක්ක කරමින් අධ්‍යාපනය ලබාදෙන මහනුවර දිස්ත්‍රික්කයේ ගුරුදෙණිය අධ්‍යාපන සංවර්ධන පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේ විශේෂ නිරීක්ෂණයක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පසුගියදා සිදු කළේය.

මෙහි සිසු සිසුවියන් 125 දෙනෙකු ඉගෙනුම ලබන අතර, එම සියලු දරුවන්ගේ ආහාරපාන සහිත අවශ්‍යතා වෙනුවෙන් පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශය දායකත්වය සපයයි. පුද්ගලික අංශය සහ යම් පුද්ගලයන් ද යම් යම් ආකාරයේ දායකත්වය මෙම කර්තව්‍යය සඳහා ලබා දෙයි.

මෙම අවස්ථාවට සහභාගී වූ සිසු දරුවන් ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කළේය.

“අපි අපහසුතාවයට පත්වෙලා ඉන්න අවස්ථාවක මේ මධ්‍යස්ථානයට ගෙනල්ලා අපිට කන්න බොන්න දීලා අපිට අධ්‍යාපනය ලබා දෙනවා… අපිට හොඳ අධ්‍යාපනයක් ලැබුණා. විභාගයට අපිව හොඳින් සූදානම් කරන්න අත්දැකීම්වලින් පෝෂණය වුණු ගුරු පිරිසක් මෙතන ඉන්නවා. අපිට පහසුකම් ලබා දීපු හැමෝටම ස්තූතියි.”

එසේම ලාල්කාන්ත අමාත්‍යවරයා තම අදහස් පළ කළේ මෙලෙසිනි.

“මේ ආපදාව වුණු වෙලාවේ ඉඳන් අපේ පළාත් රාජ්‍ය සේවයේ හැමෝම යථා තත්ත්වයට පත්කරගන්න අති විශාල කැපකිරීමක් කළා. අපේ සාකච්ඡාවලදි හැමදාම තිබුණේ කවදද පාසල් පටන්ගන්නේ කියන එක. ඒ සඳහා තියෙන ප්‍රශ්න මොනවද කියන එක. අපේ දූ දරුවෝ ටික එකතු කරගෙන මේ විදිහේ විශේෂ වැඩසටහනක් මෙහෙයවලා අධ්‍යාපන කටයුතු කඩාකප්පල් නොවී පවත්වගෙන යන්න අපි කටයුතු කරනවා. වුණු විපත අභිබවා ගිහින් ජීවිතයට ජයග්‍රහණයක් ලබාගන්න මේක අවස්ථාවක් කරගන්න. ”

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමා, පළාත් අධ්‍යාපන ලේකම්තුමිය ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙක් ද සහභාගී විය.