සීනි නිෂ්පාදනය ඉහළ නැංවීම සහ උක් කර්මාන්තය සංවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාව හා බ්‍රසීලය අතර තාක්ෂණික සහයෝගීතා ගිවිසුමකට නොවැම්බර් 25 වැනිදා අත්සන් තැබිණි. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී මෙම ගිවිසුමට අත්සන් තබා ඇත.
මේ යටතේ ක්‍රියාත්මක උක් සංවර්ධන ව්‍යාපෘතිය මාස 36ක කාලයක් පුරා ක්‍රියාත්මක වන අතර, එහි ඇස්තමේන්තුගත මුළු වටිනාකම අමෙරිකානු ඩොලර් 536,046කි. බ්‍රසීල රජයේ ප්‍රධාන මූල්‍ය දායකත්වය ඇතිව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියට බ්‍රසීල සහයෝගීතා නියෝජිතායතනය සහ සාඕ කාලෝස් ෆෙඩරල් විශ්වවිද්‍යාලය සෘජු තාක්ෂණික සහ පර්යේෂණ දායකත්වය සපයයි.
ශ්‍රී ලංකාව සිය සීනි අවශ්‍යතාවෙන් 90%කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කරන බැවින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටින් පිටතට ඇදී යයි. ඒ අනුව දේශීය නිෂ්පාදනය ශක්තිමත් කර ආනයනික සීනි මත යැපීම අවම කරමින් විදේශ විනිමය ඉතිරි කර ගැනීම මෙම ව්‍යාපෘතියේ මූලික ඉලක්කය වේ.
දේශීය උක් කර්මාන්තය මුහුණ දෙන අඩු ඵලදායීතාව, අඩු සීනි ප්‍රතිසාධන අනුපාතය සහ ඉහළ නිෂ්පාදන පිරිවැය වැනි අභියෝග ජය ගැනීමට බ්‍රසීලයේ කෘෂිකාර්මික භාවිත, පර්යේෂණ හැකියාවන් සහ තාක්ෂණික දැනුම ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.
තවද පුහුණු වැඩසටහන් සහ දැනුම හුවමාරුව හරහා පාර්ශවකරුවන්ගේ තාක්ෂණික හැකියාවන් ශක්තිමත් කිරීම, උක් අතුරු නිෂ්පාදන යොදා ගනිමින් අගය එකතු කළ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සහ ගොවීන්ට හා කර්මාන්තකරුවන්ට වැඩි ආර්ථික අවස්ථා සලසා දෙමින් ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීම මෙම සහයෝගීතාවය මඟින් සිදු කෙරේ. මෙම අවස්ථාවට අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, ශ්‍රී ලංකාවේ බ්‍රසීල තානාපති ජෝර්ජ් ජෙරාල්ඩෝ කාද්රි ඇතුළු පිරිසක් සහභාගි වූහ.



