අධිකරණ පද්ධතිය වඩාත් කාර්යක්ෂම කිරීමේ ප්‍රධාන පියවරක් ලෙස ක්‍රියාත්මක අධිකරණ ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල්කරණ වැඩපිළිවෙළ යටතේ මේ වන විට උපරිමාධිකරණය සම්පූර්ණයෙන් ඩිජිටල්කරණයට ලක් කර ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර අද (26) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ අගවිනිසුරුතුමාගේ නායකත්වයෙන් සිදු වූ මෙම ප්‍රගතිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ගොනු කිරීම සඳහා මාර්ගගත පහසුකම ඇති කර ඇති බවය. ඒ අනුව නඩුවලට අදාළ සියලු තොරතුරු ශ්‍රේෂ්ඨාධිකරණ වෙබ් අඩවියෙන් ලබා ගැනීමටත්, සීලි ගෙවීම් විද්‍යුත් ක්‍රමයට සිදු කිරීමටත්, නඩු තීරණ, නියෝග, ඉදිරි දින පියවර සහ සහතික පිටපත් මාර්ගගතව ලබා ගැනීමටත් දැන් හැකියාව පවතින බව ඔහු සඳහන් කළේය. වසර 15ක් හෝ 20ක් තිස්සේ උත්සාහ කළ මෙම කටයුතු පසුගිය වසර දෙක තුළ සාක්ෂාත් කර ගැනීමට හැකි වූ බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

සෙසු අධිකරණ ඩිජිටල්කරණය කිරීම සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාව තුළ වෙනම ඒකකයක් ස්ථාපිත කර ඇති අතර, මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල අවශ්‍ය අත්හදා බැලීම් දැනටමත් සිදු කරමින් පවතින බව හර්ෂණ නානායක්කාර මහතා පැවසීය. කොළඹ දිසා අධිකරණයට දැනටමත් ඊ-ෆයිලින් පහසුකම ලබා දී ඇති බවත්, ඇතැම් අධිකරණවල ක්‍රියාත්මක ‘වොයිස් ටු ටෙක්ස්ට්’ පහසුකම සියලු අධිකරණවලට ලබා දී ලඝු ලේඛකයන්ගේ රාජකාරි පහසු කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු කීවේය.

එසේම මහාධිකරණවල විභාග වන නඩුවල තොරතුරු ඇතුළත් කිරීමේ කටයුතු අධිකරණ සේවා කොමිෂන් සභාව මඟින් සිදු කරමින් පවතින අතර, මේ වන විට කෑගල්ල, පොළොන්නරුව සහ නුවරඑළිය මහාධිකරණවල සියලු තොරතුරු ඇතුළත් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. දෙසැම්බර් 31 වන විට දිවයිනේ සියලුම මහාධිකරණවල තොරතුරු ඇතුළත් කිරීමට සැලසුම් කර ඇති බැවින්, ඉන් අනතුරුව highcourt.lk වෙබ් අඩවිය ඔස්සේ දිවයිනේ සියලු මහාධිකරණවල නඩු තොරතුරු පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.