ව්‍යාපාරිකයින්ට මුහුණ දීමට සිදු වන විදේශ විනිමය අවදානම අවම කිරීමට සහ පුනර්ජනනීය බලශක්ති හා යටිතල පහසුකම් ක්ෂේත්‍රයන්හි නව පෞද්ගලික ආයෝජන දිරිමත් කිරීම සඳහා දිගුකාලීන ශ්‍රී ලංකා රුපියල් මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ අවස්ථා පුළුල් කිරීමට ලෝක බැංකු සමූහය පියවර ගෙන තිබේ.

ආසියානු කලාපයේ මෙවැනි ආකාරයේ ප්‍රථම ගනුදෙනුව ලෙස ලෝක බැංකු සමූහයේ භාණ්ඩාගාරය (World Bank Group Treasury) විසින් පෞද්ගලික අංශය කෙරෙහි අවධානය යොමු කරන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ HSBC Sri Lanka ආයතනය අතර සය අවුරුදු ශ්‍රී ලංකා රුපියල් ණය ගැනීමේ මාර්ගයක් සකස් කර ඇත. අමෙරිකානු ඩොලර් මිලියන 5කට සමාන මෙම ස්ථාවර පොලී අනුපාත පහසුකම, IFC ආයතනය ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කළ ප්‍රථම ණය ගැනීමේ මාර්ගයද වේ.

මෙම පහසුකම හරහා මේ වන විටත් මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සඳහා දිගුකාලීන මූල්‍ය ප්‍රතිපාදන සම්පාදනය කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් වේ. ඒ අනුව ලෝක බැංකු සමූහයේ භාණ්ඩාගාරය මඟින් සම්පාදනය කළ අතිරේක දේශීය මුදල් අරමුදල්ද සමඟින්, ශ්‍රී ලංකාවේ විශාලතම පුනර්ජනනීය බලශක්ති සමාගමකට අමෙරිකානු ඩොලර් මිලියන 10ක වසර 10ක රුපියල් ණයක් ලබා දීමට IFC ආයතනය කටයුතු කර තිබේ.