ඉන්දීය සාගර කලාපීය සංගමයේ (IORA) කටයුතු සඳහා ශ්‍රී ලංකාව අඛණ්ඩව සහාය ලබා දෙන බවත්, කලාපීය සහයෝගීතාව ශක්තිමත් කරමින් එහි වැඩසටහන්වල අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීමට කටයුතු කරන බවත් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

ඉන්දියාවේ නවදිල්ලි නුවරදී 2026 නොවැම්බර් 27 වැනිදා පැවැති ඉන්දීය සාගර කලාපීය සංගමයේ 25 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. 2023 සිට 2025 දක්වා ශ්‍රී ලංකාව සංගමයේ සභාපතිත්වය දැරූ කාලසීමාවේ ජයග්‍රහණද ඔහු එහිදී සිහිපත් කළේය.

යුරෝපා සංගමය IORA හි 12 වැනි සංවාද හවුල්කරු (Dialogue Partner) ලෙස පිළිගැනීම, BIMSTEC වැනි කලාපීය සංවිධාන සමඟ සබඳතා ශක්තිමත් කිරීම, 6වැනි IORA නිල් කාබන් කේන්ද්‍රයේ (Blue Carbon Hub) චින්තන මණ්ඩපය පැවැත්වීම සහ 2025 මැයි මාසයේදී සියලු සාමාජික රටවල එකඟතාවයෙන් කොළඹ ප්‍රකාශනය (Colombo Communiqué) සම්මත කර ගැනීම එම ජයග්‍රහණ අතර වන බව විජිත හේරත් මහතා සඳහන් කළේය.

හවුල්කාරිත්වයේ වැදගත්කම, ජනතාවට ප්‍රායෝගික ප්‍රතිලාභ ලබා දෙන සහයෝගීතාව සහ කලාපීය අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා සාමූහික ප්‍රයත්නයන්ගේ අවශ්‍යතාව යන කරුණු තුන සභාපතිත්ව කාලයෙන් උගත හැකි ප්‍රධාන පාඩම් ලෙස ඔහු පෙන්වා දුන්නේය. දේශගුණික විපර්යාස, සාගර දූෂණය සහ සමුද්‍රීය ආරක්ෂාව වැනි අභියෝග හමුවේ තනි රටක සභාපතිත්ව කාලයෙන් ඔබ්බට ගිය අඛණ්ඩ සාමූහික ක්‍රියාමාර්ග සහ IORA ත්‍රිත්ව සභාපති ක්‍රමවේදයේ (IORA Troika) වැදගත්කමද අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඉදිරියේදී සම්මත කිරීමට නියමිත දිල්ලි ප්‍රකාශනය (Delhi Communiqué) මඟින් කොළඹ ප්‍රකාශනයේ ඉදිරි ගමන තවදුරටත් ශක්තිමත් කරමින් පවතින එකඟතා ඉදිරියට ගෙන යනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු කීවේය. IORA ත්‍රිත්ව සභාපති ක්‍රමවේදයේ සාමාජිකයකු ලෙස ශ්‍රී ලංකාවේ කැපවීම යළි තහවුරු කළ විජිත හේරත් මහතා, ශ්‍රී ලංකාවේ සහාය පිළිබඳව විශ්වාසය තැබිය හැකි බවද ප්‍රකාශ කළේය.