ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර නැරඹීම සඳහා එක් වූ අවස්ථාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරන ලද්දේ,
තාක්ෂණය සහ විද්‍යාව වේගයෙන් දියුණු වන යුගයක වුවද, රටක අනන්‍යතාව සහ සමාජ ගෞරවය රැඳී ඇත්තේ එහි ඓතිහාසික හා සංස්කෘතික පදනම් ආරක්ෂා කර ගැනීම තුළ බවය.

ලෝකයේ තාක්ෂණික පරිවර්තනයන් සමඟ ඉදිරියට යා හැකි නමුත්, තම මාතෘභූමිය හා ඓතිහාසික උරුමයන් සමඟ ඇති සම්බන්ධතාව බිඳගත් සමාජයක් රටක සැබෑ සංවර්ධනයක් නොවන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙහිදී ඔහු පෙන්වා දෙන ලද්දේ රටක් ඉදිරියට යාමේදී එම රට ගොඩනැගුණු ඓතිහාසික, සංස්කෘතික පදනම් ආරක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය බවය.

එවැනි උරුමයන් ජනතාව සහ මාතෘභූමිය අතර ඇති ගැඹුරු සම්බන්ධතාවය පෙන්නුම් කරන බවද, ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ පෙරහැර මංගල්‍යය එවැනි වැදගත් සංස්කෘතික උරුමයක් බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.