ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ 2026 වසරේ අර්ධ වාර්ෂික ප්‍රගති සමාලෝචනය අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආයතන රැසක පසුගිය මාස හය තුළ ලබා ඇති ප්‍රගතිය, ඉදිරි සැලසුම් සහ සංවර්ධන වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කෙරිණි.

දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහනක් වන “ප්‍රජා ශක්ති” වැඩසටහන යටතේ ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය මඟින් දිවයින පුරා රුපියල් මිලියන 25,000ක සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතින බව මෙහිදී අනාවරණය විය.

එමෙන්ම අඩු ආදායම්ලාභී පවුල් සවිබල ගැන්වීම සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක වැඩසටහන් වේගවත් කර ඇති බවද සඳහන් කෙරිණි.

මෙහිදී අමාත්‍ය උපාලි පන්නිල මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දෙමින් කියා සිටියේ රාජ්‍ය මූල්‍ය විනය ආරක්ෂා කර ගනිමින් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා කඩිනම් තීරණ ගන්නා ලෙසයි.

2026 අයවැය ඉලක්ක සපුරාලීම සඳහා සියලු ආයතන තම සැලසුම් අනුව කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.