අධිකරණයේ පවතින නඩු ප්‍රමාදය අවම කර ජනතාවට කඩිනම් යුක්තිය ලබාදීමේ අරමුණින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමට රජය යෝජනා කර ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරන ලදී.

ඔහු සඳහන් කරන ලද්දේ, අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා අධිකරණ සංඛ්‍යාව වැඩි කිරීම, නව විනිසුරුවරුන් බඳවා ගැනීම සහ අත්දැකීම් සහිත විනිසුරුවරුන්ගේ සේවය තවදුරටත් ලබා ගැනීම යන පියවර ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති බවය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසරකින් දීර්ඝ කිරීමේ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ එම වැඩපිළිවෙළේ කොටසක් ලෙස බවද අමාත්‍යවරයා පැවසීය.

ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කිරීමට සියලු පාර්ශ්වයන්ට අයිතිය ඇති බවත්, ජනමත විචාරණයක් අවශ්‍යද නැද්ද යන්න තීරණය කරනු ලබන්නේ ව්‍යවස්ථානුකූල ක්‍රියාවලිය අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බවද නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය.

එමෙන්ම, එල්නිනෝ තත්ත්වය සහ ඩෙංගු අවදානම පිළිබඳවද රජය අවධානය යොමු කරමින් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.