මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා ප්‍රකාශ කරන ලදී.

කෙසේ වෙතත් ප්‍රදේශයේ මහජන ආරක්ෂාව සහ සාමය තහවුරු කිරීමේ අරමුණින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන යටතේ 246 කැඳලියද්ද පාලුව බටහිර, 246 කැඳලියද්ද පාලුව උතුර සහ 181 දමුව යන ග්‍රාම නිලධාරී වසම් සඳහා පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව ඔහු සඳහන් කළේය.

අදාළ කාලය තුළ අනවශ්‍ය ගමන්බිමන්වලින් වළකිමින් තම නිවෙස්වල රැඳී සිටින ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී. අත්‍යවශ්‍ය අවශ්‍යතාවක් මත ගමන් කිරීමට සිදුවන්නේ නම්, ඒ සඳහා ළඟම පිහිටි පොලිස් ස්ථානයේ සහාය ලබාගත හැකි බවද දැනුම් දෙන ලදී.

එමෙන්ම සැකකටයුතු හෝ නීතිවිරෝධී ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු වහාම පොලිසියට ලබාදෙන ලෙසද ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව එක්ව ප්‍රදේශයේ ආරක්ෂාව සහ සාමය තහවුරු කිරීම සඳහා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවද පොලිසිය සඳහන් කරන ලදී.