ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෑතකාලීනව දේශපාලනයට අතපෙවීම් සිදු කරන බවත්, වත්මන් සභාපතිවරයාගේ ක්‍රියාකලාපය හෙළා දකින බවත් ප්‍රියන්ත තිලකරත්න මහතා ප්‍රකාශ කරන ලදී.

ඒ අනුව, පසුගිය කාලයේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉවත් කිරීමට බලපෑම් කළ ආකාරයටම, නීතිඥ සංගමය තවදුරටත් දේශපාලනීකරණය වෙමින් කටයුතු කිරීම රටේ උත්තරීතර අධිකරණ පද්ධතිය පිළිබඳ පවතින ජනතා විශ්වාසය බිඳවැටීමට හේතු වන බව ඔහු මෙහිදී සඳහන් කළේය.

මීට අමතරව, ඕනෑම රජයකට රට වෙනුවෙන් ප්‍රතිසංස්කරණ සිදු කිරීමට ජනවරමක් පවතින බවත්, එම ක්‍රියාවලීන්ට විරුද්ධ වෙමින් නීතිඥ සංගමය ප්‍රසිද්ධියේ දේශපාලන න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක කිරීම සහ රාජ්‍ය කටයුතුවලට බාධා කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් ඔහු පැවසීය.

නීතිඥ සංගමයේ සභාපතිවරයා ස්වාධීන හා මධ්‍යස්ථ පුද්ගලයෙකු විය යුතු බැවින්, වත්මන් සභාපතිවරයා මෙම තනතුරට සුදුසු නොවන බවත්, ඔහු වහාම එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>