පසුගිය යහපාලන රජය සමයේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සිදුවූ බව කියන මූල්‍ය වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව සමෘද්ධි සේවක වෘත්තීය සමිති එකමුතුවේ සෝමසිරි ලියනගේ මහතා ප්‍රකාශ කළේය.

එම පැමිණිල්ලට අනුව, 2019 වසරේදී එවකට විෂයභාර අමාත්‍යවරයාව සිටි දයා ගමගේ මහතාගේ උපදෙස් මත පරිගණක සහයකයන් ලෙස අනීතික ස්ථිර පත්වීම් ලබාදී ඇති බවත්, ඔවුන් වෙනුවෙන් මාස ගණනාවක් වැටුප් ගෙවීම ඇතුළු ක්‍රියාවලිය හරහා රුපියල් මිලියන 500කට ආසන්න මූල්‍යමය අක්‍රමිකතාවක් සිදුව ඇති බවත් ඔහු සඳහන් කළේය.

මීට අමතරව, දේශපාලන ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් ජාතික උත්සව පවත්වා හිතවත්කම් මත සහනාධාර බෙදා දී ඇති බවත්, දෙපාර්තමේන්තුවේ ක්ෂුද්‍ර මූල්‍ය අංශයේ රුපියල් මිලියන 100ක් ප්‍රතිපූර්ණය නොකර පැහැර හැර ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. එමෙන්ම සමාජ ආරක්ෂණ අරමුදලින් රුපියල් මිලියන 135ක් ලබාගෙන පසුව දුප්පත් ජනතාවගේ සමෘද්ධි සහනාධාර මුදල්වලින් එම මුදල හිලව් කරගෙන ඇති බවටද ඔහු අනාවරණය කළේය.

එවකට කැබිනට් මණ්ඩලයේ සිටි වගකිවයුතු අමාත්‍යවරුන් මෙම තීරණ හා අක්‍රමිකතාවලට වගකිව යුතු බවත්, විනාශයට පත්ව ඇති සමෘද්ධි ව්‍යාපාරය රැකගැනීම වෙනුවෙන් වර්තමාන රජයෙන් සහ කොමිසමෙන් සාධාරණ පරීක්ෂණයක් බලාපොරොත්තු වන බවත් සෝමසිරි ලියනගේ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>