දිවයිනේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද දිනයේ (22) බොහෝ ප්‍රදේශ වල ප.ව. 1.00 න් පසු තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව දිවයිනේ ඇතැම් ස්ථාන වලට මි.මී 100 ට තද වැසි ඇති විය හැකි අතර,
බස්නාහිර, වයඹ පළාත් සහ මුලතිව් දිස්ත්‍රීක්කයේ උදෑසන කාලයේදී වැසි තත්ත්වයක්ද, මධ්‍යම, සබරගමුව , ඌව පළාත් වල සහ ගාල්ල, මාතර, කළුතර දිස්ත්‍රීක්කයන්හි ඇතැම් ස්ථාන වල අළුයම කාලයේදී මීදුම් සහිත වැසි තත්ත්වක්ද පැවතිය හැකිය.

එසේම අද (22) දින පෙ.ව. 6.30ට වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ වාර්තාවට අනුව ගත වූ පැය 24 තුළ දිවයින පුරා ප්‍රධාන ගංගා වල ජල මට්ටම් බොහෝ ප්‍රදේශවල සාමාන්‍ය තත්ත්වයේ පැවතුනද, ස්ථාන කිහිපයක අවධානය යොමු කළ යුතු තත්ත්වයන් වාර්තා වී ඇත.

ඒ අනුව මහවැලි ගඟ ආශ්‍රිතව මන්නම්පිටිය ප්‍රදේශයේ අවධානම් මට්ටම ඉක්මවා ගොස් කුඩා ගංවතුර තත්ත්වයක් දැනටමත් වාර්තා වී ඇති අතර එහි ජල මට්ටම තවමත් ඉහළ යමින් පවතී.

මෙහිදී ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.