රුපියල් කෝටි 60කට අධික වටිනාකමින් යුත් නීතිවිරෝධී දුම්වැටි ලක්ෂ 57ක් පමණ අඩංගු බහාලුමක් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සේදවත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බහාලුම් අංගනයකදී පෙරේදා (10 වැනිදා) මෙම වැටලීම සිදු කර ඇති බව පොලිසිය පවසයි.

ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට ගෙන්වන ලද මෙම බහාලුම තුළ මැන්චෙස්ටර් වර්ගයේ දුම්වැටි ලක්ෂ 57ක් පමණ අඩංගු වී තිබේ.

මෙම සිද්ධියට අදාළව ජාඇල සහ කටුගස්තොට ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී ඉන්දික ධර්මරත්න මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක පැතුම් අංජන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම වැටලීම ක්‍රියාත්මක කර ඇත.