පොලිස් නිලධාරීන්ගේ ආහාර හා ඇඳුම් පැළඳුම් දීමනාව රුපියල් 10,000කින් ඉහළ නංවා රුපියල් 38,200ක් දක්වා වැඩි කිරීමටත්, නිලධාරීන් 65,000කට විදුලි යතුරුපැදි ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමටත් කටයුතු කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල නොවැම්බර් 27 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පොලිස් නිලධාරීන්ගේ සුබසාධනය සහ සේවා පහසුකම් ඉහළ නැංවීමේ පියවරක් ලෙස රුපියල් 10,000ක අවදානම් දීමනාවක් ලබා දීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර අනුමැතිය ලබා ගත් බව අමාත්‍යවරයා පැවසීය. එහෙත් මහා භාණ්ඩාගාර චක්‍රලේඛ සහ මෙවර අයවැය ලේඛනය යටතේ අලුත් දීමනා හඳුන්වා නොදෙන බව සඳහන් වීම හේතුවෙන් එම රුපියල් 10,000 අවදානම් දීමනාවක් ලෙස නොව, දැනට ගෙවන රුපියල් 28,200ක ආහාර සහ ඇඳුම් දීමනාවට එක් කර රුපියල් 38,200ක් ලෙස ගණනය කර ලබා දීමට පියවර ගෙන ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
මීට අමතරව පහළ ශ්‍රේණියේ පොලිස් නිලධාරීන්ගේ සිට පොලිස් පරීක්ෂක ශ්‍රේණිය දක්වා නිලධාරීන් වෙනුවෙන් විදුලි යතුරුපැදි ලබා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇති බවද ආනන්ද විජේපාල සඳහන් කළේය. නිලධාරීන්ගේ කැමැත්ත විමසීමෙන් පසු මේ වන විට නිලධාරීන් 65,000ක් විදුලි යතුරුපැදි සඳහා ඉල්ලුම් කර ඇති බව ඔහු කීවේය.
ඒ සඳහා වැය වන මුදල පොලිස් දෙපාර්තමේන්තුවේ ත්‍යාග අරමුදලින් දැරීමටත්, පොලිස් නිලධාරීන්ට පොලී රහිතව ණය පහසුකම් සලසා දීමටත් සැලසුම් සකස් කර අවසන් කර ඇත. අදාළ ක්‍රියා පටිපාටි සම්පූර්ණ කර ඉතා කෙටි කාලයක් තුළ එම විදුලි යතුරුපැදි 65,000 නිලධාරීන්ට ලබා දීමට හැකි වනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.





