ශ්‍රී ලංකා – ඉන්දියා ද්විපාර්ශ්වික සබඳතා සහ කලාපීය තත්ත්වය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා නොවැම්බර් 26 වැනිදා නවදිල්ලියේදී සාකච්ඡා කළහ. එම හමුව පැවැත්වුණේ අද නවදිල්ලියේදී පැවැත්වීමට නියමිත ඉන්දීය සාගර වටද්දර රටවල සංගමයේ 25 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීමට පෙරය.

හමුවෙන් පසු සිය X ගිණුමේ සටහනක් තැබූ ජයිශංකර් මහතා සඳහන් කළේ දෙරටේ සබඳතා සහ කලාපයේ තත්ත්වය ගැන අදහස් හුවමාරු කරගත් බවත්, අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තවදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත්ය. ද්විපාර්ශ්වික හමුවේදී නව ගිවිසුමක් අත්සන් කළ බවට නිල නිවේදනයක් මෙතෙක් නිකුත් වී නැත.

ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන අද රැස්වීමේදී ඉන්දීය සාගර කලාපයේ දැනට පවතින සහයෝගිතා වැඩපිළිවෙළ සමාලෝචනය කිරීමටත්, එක්ව කටයුතු කළ හැකි නව ක්ෂේත්‍ර හඳුනාගැනීමටත් නියමිතය. 2023 සිට 2025 දක්වා සංගමයේ සභාපතිත්වය දැරූ ශ්‍රී ලංකාව වෙනුවෙන් විජිත හේරත් මහතා නියෝජිත කණ්ඩායමට නායකත්වය දෙයි. සමුද්‍රීය ආරක්ෂාව, කලාපීය ආර්ථික සහයෝගිතාව සහ තිරසර සංවර්ධනය ශ්‍රී ලංකාව අවධානය යොමු කරන ප්‍රධාන ක්ෂේත්‍ර අතර වේ.