හිටපු බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා යළි සිය රටට පැමිණීමට සැලසුම් කර ඇති පසුබිමක, ඇයගේ ආරක්ෂාව සම්බන්ධයෙන් හිටපු පෙන්ටගන් නිලධාරි මයිකල් රූබින් බංග්ලාදේශ අග්‍රාමාත්‍ය තාරික් රහ්මාන්ට සහ ඔහුගේ රජයට අනතුරු ඇඟවීමක් සිදු කර ඇති බව NDTV පුවත් සේවය වාර්තා කළේය.
නිව්යෝර්ක් නුවර පැවති ‘බංග්ලාදේශයේ අනාගතය’ නමැති සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු සඳහන් කර ඇත්තේ ෂෙයික් හසීනාට යම් හානියක් සිදුවුවහොත් තාරික් රහ්මාන් සහ ඔහුගේ රජය ඊට සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවය. “ෂෙයික් හසීනාගේ හිසකෙස් ගසකට හෝ හානියක් සිදුවුවහොත් ඊට වගකිව යුත්තේ ඔවුන් පමණයි” යනුවෙන්ද මයිකල් රූබින් එහිදී ප්‍රකාශ කර තිබේ. ෂෙයික් හසීනාට හෝ ඇය සමඟ පැමිණෙන කිසිවෙකුට හෝ හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම බංග්ලාදේශ රජය භාරගත යුතු බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.
2002 වසරේ සිට 2004 වසර දක්වා පෙන්ටගනයේ සේවය කළ මයිකල් රූබින් මෙම පණිවිඩය බංග්ලාදේශ රජය වෙත දැනුම් දෙන ලෙස අමෙරිකානු තානාපතිවරයාගෙන් සහ අනෙකුත් රටවල රාජ්‍ය තාන්ත්රිකයන්ගෙන්ද ඉල්ලීමක් කර තිබේ. එසේම බංග්ලාදේශයේ වත්මන් පාලනය සමඟ කිසිදු සම්මුතියකට නොපැමිණෙන ලෙසත්, ෂෙයික් හසීනාට අඛණ්ඩව සහාය ලබා දෙමින් ඇයගේ පාලනය යළි ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙසත් ඔහු ඉන්දියාවෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.
දෙසැම්බර් 16 වැනිදා යළි බංග්ලාදේශයට පැමිණීමට සැලසුම් කර ඇති බවට ෂෙයික් හසීනා ප්‍රකාශ කර දින කිහිපයකට පසුව මෙම අනතුරු ඇඟවීම සිදු කර තිබේ. 2024 වසරේ බංග්ලාදේශයේ පැවති ශිෂ්‍ය අරගලයෙන් අනතුරුව රටින් පිටව ගිය ෂෙයික් හසීනා මේ වන විට ඉන්දියාවේ රැඳී සිටින අතර, ඇය නිව්යෝර්ක් නුවර පැවති අදාළ සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිතයා ලෙස මාර්ගගත තාක්ෂණය ඔස්සේ ඊට එක්ව තිබිණි.





