පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධ විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගැනීමට නිකුත් කළ රැඳවුම් නියෝගය බල රහිත කරන රිට් ආඥාවක් ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතා ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද යන නියෝගය ප්‍රකාශයට පත් කිරීම 2027 ජනවාරි 28 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නොවැම්බර් 27 වැනිදා නියම කළේය.
මෙම රිට් පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ මෑතකදී දීර්ඝ ලෙස කරුණු සලකා බැලීම සිදු විය. නියෝගය නොවැම්බර් 27 වැනිදා ප්‍රකාශයට පත් කරන බව මීට පෙර විනිසුරු මඩුල්ල නිවේදනය කර තිබුණද, නඩුව කැඳවූ අවස්ථාවේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා අසුන් නොගත් අතර විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා නියෝගය ජනවාරි 28 වැනිදා දක්වා කල් තැබූ බව නිවේදනය කළේය.
පාස්කු ඉරු දින ප්‍රහාර විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගත් තීරණය නීතියට පටහැණි බව පෙත්සම්කාර සුරේෂ් සලේ මහතා සඳහන් කර ඇත. ඒ අනුව රඳවා ගැනීමේ නියෝග බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඔහු ඉල්ලා තිබේ.
මෙම නඩුකරයේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න සහ පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.




