නාවික හමුදාව පවසන ආකාරයට දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකපිට නාවික හමුදා භාරයට ගත් බහුදින ධිවර යාත්‍රා දෙක සහ සැකකරුවන් 11 දෙනා මේ වන විට දික්ඕවිට ධීවර වරායට රැගෙනවිත් ඇත.

පොලිසිය විසින් ලබා දුන් තොරතුරකට අනුව නාවික හමුදාව විසින් දිගුදුර නෞකා යොදාගනිමින් මෙම බහුදින ධීවර යාත්‍රා දෙක සොයා විශේෂ මෙහෙයුමක් සිදුකළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා පැවසීය.

ඒ අනුව මෙම ධිවර යාත්‍රා දෙක තුළ තිබී කිලෝග්‍රෑම් 280කට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වී තිබෙන අතර ඒවායේ වටිනාකම රුපියල් මිලියන 4,500කට අධික බව ද සඳහන් වේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණයට එක්වූ ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යතුමන් අදහස් දක්වමින්, වත්මන් රජය රට ගොඩනැගීම සඳහා නියමු ව්‍යපෘති ගණනාවක් ක්‍රියාත්මක කර ඇති බවත්, එහි ප්‍රධාන ව්‍යපෘතියක් ලෙස ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සෘජු අධීක්‍ෂණයෙන්, සැලැස්මක් සහිතව ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය වැටලීමේ ක්‍රියාන්විත මනා සංවිධානයකින් යුතුව, පුළුල්ව සහ තීව්‍ර ලෙස දියත් කර ඇති බවත්, රට තුලට මත්ද්‍රව්‍ය රැගෙන එන ජාවාරම්කරුවන් හට ඒ සඳහා කිසිදු අවස්ථාවක් නොමැති බවත් අවධාරනය කෙරිණි.

නාවික හමුදා භාරයට ගත් යාත්‍රා දෙක සහ සැකකරුවන් 11 දෙනා ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතය.