ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ව්‍යසන කළමනාකරණ ජාතික සභාව ඊයේ දින (30) ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වී, එල්නිනෝ දේශගුණික තත්ත්වයට මුහුණ දීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සහ ආපදා කළමනාකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ තීරණ රැසක් ගෙන තිබේ.

එහිදී එල්නිනෝ තත්ත්වයෙන් කෘෂිකර්මාන්තය, පානීය ජල සැපයුම සහ බලශක්ති උත්පාදනයට ඇති විය හැකි බලපෑම් පිළිබඳ විශේෂ අවධානය යොමු කළ ජනාධිපතිවරයා, ජල කළමනාකරණය, මහ කන්නයේ වගා කටයුතු කලින් ආරම්භ කිරීම සහ වනජීවී කලාපවල වැව් ප්‍රතිසංස්කරණය කඩිනම් කරන ලෙස අදාළ අංශවලට උපදෙස් ලබා දුන්නේය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය (NDRSC) ඒකාබද්ධ කිරීම, ආපදා වළක්වා ගැනීම කේන්ද්‍ර කරගත් නව නීතිමය රාමුවක් හඳුන්වාදීම සහ දිස්ත්‍රික් මට්ටමින් විධිමත් ආපදා කළමනාකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහාද මෙහිදී යෝජනා විය.

එමෙන්ම නායයෑම් අවදානමට ලක්ව ඇති පවුල්, විශේෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් නැවත පදිංචි කිරීම සඳහා වසර හතරක සැලැස්මක් සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

සාකච්ඡාවට එක් වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ආපදා කළමනාකරණය සඳහා විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්ති සකස් කිරීමේ වැදගත්කම අවධාරණය කළ අතර, එම යෝජනා පනත් සංශෝධන ක්‍රියාවලියේදී සලකා බලන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.