මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී පුනරුත්ථාපනය වූ තරුණ තරුණියන් පෞද්ගලික අංශයේ ස්ථිර වෘත්තීය රැකියා සඳහා යොමු කිරීමේ ඒකාබද්ධ වැඩසටහනක් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ආරම්භ කර තිබේ.
අන්ත්‍රාකාරී ඖෂධ පාලන ජාතික මණ්ඩලය, පුනරුත්ථාපන කාර්යාංශය සහ වෘත්තීය පුහුණු අධිකාරිය සමඟ එක්ව ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන පිළිබඳ සාකච්ඡාවක් අද (30) අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, පෞද්ගලික කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා පුරප්පාඩු ලක්ෂ හතරකට අධික සංඛ්‍යාවක් පවතින අතර, ශ්‍රමික හිඟය හේතුවෙන් ඇතැම් කර්මාන්තවලට විදේශීය ශ්‍රමිකයන් යොදා ගැනීමට සිදුව ඇති බවයි.
ඉදිකිරීම්, පාවහන්, සම්භාණ්ඩ, ටයිල් සහ ඔටෝමොබයිල් ඇතුළු කර්මාන්ත සඳහා පුනරුත්ථාපනය වූ පුද්ගලයන් ක්‍රමානුකූල පුහුණුවක් යටතේ යොමු කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවද ඔහු පැවසීය.
මේ වනවිට වෘත්තීය පුහුණුව ලැබූ පුනරුත්ථාපනය වූ තරුණ තරුණියන් 10,000කට ආසන්න පිරිසක් සිටින අතර, වවුනියාව, සේනපුර සහ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානවලින් වාර්ෂිකව පුද්ගලයන් 800ක් පමණ පුනරුත්ථාපනය කර නැවත සමාජගත කරන බවද අනාවරණය විය.





