උතුරු පළාතේ සෞඛ්‍ය සේවාවන් පිළිබඳ විශේෂ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් උතුරු පළාත් ආණ්ඩුකාර නාගලින්ගම් වේතානායහම් මහතාගේ සහාගීත්වයෙන් පසුගිය දා උතුරු පළාත් ආණ්ඩුකාර කර්යාලයේදී පැවැත්වුණු අතර මේ සඳහා අමාත්‍ය නලින්ද ජයතිස්සද සහභාගී විය.
මෙම සාකච්ඡාවේදී පළාතේ රෝහල් හා ප්‍රාථමික සෞඛ්‍ය සේවා ආයතන මුහුණපාන වත්මන් අභියෝග පිළිබඳ පුළුල් අවධානය යොමු කළ අතර, ජනතාවට වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සැපයීම සඳහා කෙටි, මධ්‍ය හා දිගුකාලීන සංවර්ධන සැලසුම් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
උතුරු පළාතේ යාපනය, කිළිනොච්චිය, මුලතිව්, මන්නාරම, වව්නියාව යන දිස්ත්‍රික්කවල පිහිටි රෝහල් සඳහා විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන්හි පවතින හිඟය කඩිනමින් අවම කරමින් විධිමත්, කාර්යක්ෂම සේවාවක් ජනතාවට ලබාදීම මෙන්ම ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තවදුරටත් සවිබල ගැන්වීම පිළිබඳව අවධානය යොමු විය.
උතුරු පළාතේ දූපත් ප්‍රදේශ ඇතුළු දුරස්ථ හා සේවා ලබාදීමට අපහසු ප්‍රදේශවල ජනතාවට සෞඛ්‍ය සේවාවන් වඩාත් පහසුවෙන් ළඟා කරදීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග, රෝගීන්ගේ යොමුකිරීමේ ක්‍රමවේද කාර්යක්ෂම කිරීම සහ ප්‍රතිකාර සඳහා ගතවන කාලය අවම කිරීම සම්බන්ධයෙන්ද විශේෂ අවධානය යොමු කෙරිණි.
මෙම සාකච්ඡාවේ දී හඳුනාගත් ප්‍රමුඛ අවශ්‍යතා සඳහා කඩිනම් ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර එහි ප්‍රගතිය නිරන්තරයෙන් සමාලෝචනය කිරීමට ද, උතුරු පළාතේ ජනතාවට වඩාත් උසස්, නවීන හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා මධ්‍යම රජය සහ උතුරු පළාත් සෞඛ්‍ය බලධාරීන් අතර සමීප සම්බන්ධීකරණයකින් යුතුව ඉදිරි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද අවධානය යොමු කෙරිණි.





