ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා Youth Club ජාතික සම්මේලනය එක්ව සංවිධානය කළ “තුරුණු දම්සර” පොසොන් කලාපය ඊයේ (29) මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි.
සමාරම්භක අවස්ථාව පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා ඇතුළු නිලධාරීන් සහ Youth Club ජාතික සම්මේලනයේ නියෝජිතයෝ එක්වූහ.
ජූලි 1 දක්වා පැවැත්වෙන මෙම පොසොන් කලාපයේ බැති ගී ප්‍රසංග, පොසොන් නාට්‍ය, පහන් කූඩු ප්‍රදර්ශනය, ඩිජිටල් ජාතක කතා ප්‍රදර්ශනය සහ දන්සැල් ඇතුළු වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.
අවස්ථාව අමතමින් දේවානන්ද සුරවීර මහතා පැවසුවේ සංස්කෘතික අනන්‍යතාව රැක ගැනීම සඳහා තාරුණ්‍යයේ දායකත්වය අගය කළ යුතු බවයි.
එහිදී අදහස් දැක්වූ සභාපති සුපුන් විජේරත්න මහතා සඳහන් කළේ ජාතික තරුණ සේවා සභාව සියලු ආගමික හා සංස්කෘතික උත්සව සමරමින් තරුණ එකමුතුව සහ ශ්‍රී ලාංකේය අනන්‍යතාව ශක්තිමත් කිරීම සඳහා කටයුතු කරන බවත්, ඉදිරියේදී නත්තල් සැමරුම් සහ තරුණ හුවමාරු වැඩසටහන්ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත්ය.





