වෙරළ කලාපය තුළ අනවසර ඉදිකිරීමක් සම්බන්ධයෙන් ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී නොසිටීම නිසා විවෘත වරෙන්තු මත සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමි හෙට (17) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

අනුරාධපුරයේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියදී බන්ධනාගාර නිලධාරීන් විසින් මෙම විවෘත වරෙන්තුවට අදාළව උන්වහන්සේ ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සන්සුදීන් මහතා හමුවට ඉදිරිපත් කර ඇත. එහිදී නීතිඥයකු පෙනී නොසිටීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා කළ විමසීමකදී, පෙර දින රාත්‍රියේ ත්‍රිකුණාමල බන්ධනාගාරයට රැගෙන ඒම නිසා නීතිඥ සහාය ලබා ගැනීමට වේලාවක් නොතිබුණු බව කස්සප හිමියන් ප්‍රකාශ කළහ.

තමන් අනුරාධපුරයේ මාරාන්තික උපවාසයක නිරතව සිටියදී පහරකෑමට ලක්ව රෝහල්ගත වීම නිසා ත්‍රිකුණාමල අධිකරණයේ නඩුවට පෙනී සිටීමට නොහැකි වූ බව උන්වහන්සේ සඳහන් කළහ. කෙසේ වෙතත්, ත්‍රිකුණාමල මහාධිකරණයෙන් අදාළ නඩුවට ඇප නියම කිරීමේදී සැකකාර හිමිනම ඇප කොන්දේසි කඩකර ඇති බැවින් ඇප ලබාදීමට විරුද්ධ වන බව පොලිසිය අධිකරණයට දන්වා තිබේ.