බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුට විශේෂ පහසුකම් සලසා දීම වෙනුවෙන් ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිද්ධියට අදාළ සැකකරුවකු වන චරිත් අබේසිංහට අයත් සුඛෝපභෝගී නිවසක් තහනම් කිරීමට පියවර ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ විශේෂ මෝසමක් ගොනු කරමින් අල්ලස් කොමිසම මේ බව වාර්තා කර ඇත. 2025 අංක 5 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනතේ නෛතික ප්‍රතිපාදනවලට අනුකූලව මෙම දේපළ අත්හිටුවීමට පියවර ගත් බව කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂ නිලධාරිනිය අධිකරණය හමුවේ කියා සිටියාය.

මෙම සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් සම්බන්ධයෙන් ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව ද කොමිසම අධිකරණයට කරුණු අනාවරණය කළේය. ඒ අනුව, දෙවන සැකකරු වන නීතිඥ රබිත රාජපක්ෂට අයත් සුඛෝපභෝගී වාහන කිහිපයක් සහ බැංකු ගිණුම් 4ක් මහාධිකරණ නියෝග මත මීට පෙර අත්හිටුවා ඇති අතර, තුන්වන සැකකරු වන වරුණ හැන්දිගේ අරුණ චතුරංගගේ පියාට සහ බිරිඳට අයත් වාහන දෙකක් ද අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

රැඳවුම් භාරයේදී සහ නීතිමය කටයුතුවලදී වරප්‍රසාද ලබාදීමේ පොරොන්දුව මත මෙම මුදල අල්ලස් ලෙස ලබාගත් බවට අල්ලස් කොමිසම විසින් මොවුන්ට එරෙහිව නඩු පවරා තිබුණි. මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මෙම සැකකරුවන් තිදෙනා මේ වන විට ඇප මත මුදාහැර සිටින අතර, අදාළ නඩුව ලබන මස 08 වැනිදා යළි කැඳවීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.