බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ‘අක්වාන්‘ සුළි කුණාටුව අද පස්වරුව වන විට චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වයඹ දෙසට බරව උතුරු දෙසට ගමන් කරමින් පවතින මෙම සුළි කුණාටුව ලබන 19 වනදා උදෑසන වන විට ඉතා චණ්ඩ සුළි කුණාටුවක් බවට තවදුරටත් ප්‍රබල වනු ඇති බව එරට කාලගුණ අංශ පෙන්වා දෙයි. ඉරානය විසින් නම් කරන ලද මෙම සුළි කුණාටුව, පසුගිය සති තුන ඇතුළත බෙංගාල බොක්ක ආශ්‍රිතව නිර්මාණය වූ තුන්වන සුළි කුණාටුව වීමද විශේෂත්වයකි.

නවතම කාලගුණ වාර්තාවලට අනුව, මෙම කුණාටුව ලබන 20 වනදා දහවල් කාලයේදී පැයට කිලෝමීටර් 120ත් 130ත් අතර වේගයකින් සහ කිලෝමීටර් 145 දක්වා ඉහළ යන තද සුළං සමඟින් අන්ද්‍රා ප්‍රදේශ් සහ යානම් වෙරළ තීරයේ නෙල්ලෝර් සහ ටුනි අතර ප්‍රදේශයෙන් ගොඩබිමට ඇතුළු වීමට නියමිතය.

මෙහි බලපෑමෙන් අද දිනයේ සිට චෙන්නායි ඇතුළු තමිල්නාඩු ප්‍රාන්තයේ අවට දිස්ත්‍රික්කවලටත්, හෙට සිට වෙරළබඩ අන්ද්‍රා ප්‍රදේශයටත්, නොවැම්බර් 19 සහ 20 යන දිනවලදී අන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවලටත් ඉතා තද වැසි ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබේ.

ඒ අනුව ඔඩිෂා සහ තමිල්නාඩු ප්‍රාන්තවල දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ‘තැඹිලි‘ සහ ‘කහ‘ අවදානම් නිවේදන නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බැවින් නොවැම්බර් 21 වනදා දක්වා ධීවර කටයුතු සඳහා මුහුදු නොයන ලෙස ධීවර ප්‍රජාවට දැඩි ලෙස අවවාද කර ඇති අතර, පහත්බිම්වල වෙසෙන ජනතාවට ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු වන ලෙස දන්වා ඇත. එමෙන්ම අවම වශයෙන් සතියකට ප්‍රමාණවත් ආහාර සහ පානීය ජලය රැස්කර තබා ගන්නා ලෙස අන්ද්‍රා ප්‍රදේශ් ආපදා කළමනාකරණ අධිකාරිය ජනතාවට වැඩිදුරටත් දැනුම් දී තිබේ.