චීනයේ ෂෙන්සෙන් (Shenzhen) නුවර පැවැත්වෙන APEC විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයට පෙර රතු පලස මතදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, චීන ජනාධිපති ෂී ජින්පින් සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යන ලෝක නායකයින් තිදෙනා එකම වේදිකාවකදී හමුවී තිබේ. මෙම අපේක්ෂිත හමුවට අදාළ විශේෂ වීඩියෝවක් රුසියාවේ ක්‍රෙම්ලින් මාධ්‍ය කණ්ඩායම විසින් නිකුත් කර ඇති බව වාර්තා වේ.

පුටින්, ට්‍රම්ප් සහ ෂී යන නායකයින් තිදෙනා ප්‍රසිද්ධියේ එකට දක්නට ලැබුණු පළමු අවස්ථාව මෙම කෙටි මුණගැසීම මගින් සනිටුහන් වන අතර, 2025 වසරේ අගෝස්තු මාසයේ ඇලස්කාවේ පැවති රුසියානු-අමෙරිකානු සමුළුවෙන් පසු අමෙරිකානු සහ රුසියානු ජනාධිපතිවරුන් එකිනෙකා මුණගැසුණු පළමු අවස්ථාවද මෙය වීම විශේෂත්වයකි. සමූහ ඡායාරූපය සඳහා නායකයින් ගමන් කිරීමට පෙර පැවති එම කෙටි හමුව ඉතා සුහදශීලී ස්වරූපයක් ගෙන තිබිණි.

අමෙරිකානු ජනාධිපතිවරයා පැමිණීමට පෙර ෂෙන්සෙන් වෙත පැමිණි රුසියානු ජනාධිපති පුටින්, චීන ජනාධිපති ෂී සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇති අතර, ඉන් අනතුරුව චීනයට පැමිණි ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිගැනීම සඳහා චීන ජනාධිපතිවරයා පෞද්ගලිකවම ගුවන් පථය වෙත පැමිණ ඇත. APEC සමුළුවට සමගාමීව හෙට (19) පස්වරුවේ මෙම නායකයින් තිදෙනා නිල වශයෙන් හමුවීමට නියමිත අතර, ෂී ජින්පින්, ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ව්ලැඩිමීර් පුටින් ත්‍රෛපාර්ශ්වික සමුළුවක් පවත්වන ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වනු ඇත.