බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. අද (19) පස්වරු 4.00ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට (20) පස්වරු 4.00 දක්වා වලංගු වන බව සඳහන් වේ.
බෙංගාල බොක්කේ දකුණු සහ ඊට යාබද බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “අක්වාන්” (Akvan) ප්‍රබල සුළි කුණාටුව, අද (19) පෙරවරු 11.30 පමණ වන විට උතුරු අක්ෂාංශ 15.4° සහ නැගෙනහිර දේශාංශ 85.2° ආසන්නයේ කේන්ද්‍රගතව පැවතිණි. එය කන්කසන්තුරය සිට දළ වශයෙන් කිලෝමීටර් 830ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මෙම පද්ධතිය තවදුරටත් උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින්, හෙට (20) පෙරවරු 11.30 පමණ වන විට ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරයේ නසාපූර් (Narsapur) සහ පූරි (Puri) අතරින් ගොඩබිමට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඒ අනුව, උතුරු අක්ෂාංශ 12ත් 20ත් සහ නැගෙනහිර දේශාංශ 80ත් 93ත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. එම මුහුදු ප්‍රදේශවල දැනට යාත්‍රා කරමින් සිටින ධීවර සහ නාවික ප්‍රජාවන්ට ආරක්ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙසත්, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් උපදෙස් දී තිබේ.


