වාහන අංක තහඩු සහ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී පවතින ප්‍රමාදයන් 2027 වසරේ අගෝස්තු මාසය වන විට සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට අපේක්ෂා කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර්ගේ සභාපතිත්වයෙන් පැවති යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමකදී දෙපාර්තමේන්තු නිලධාරීන් මෙම අදහස් පළ කළේය. එහිදී මන්ත්‍රී එස්. එම්. මරික්කාර්, අදාළ ප්‍රමාදයන් විසඳීම සඳහා දෙපාර්තමේන්තුව ලබා දී ඇති කාලසීමාව සම්බන්ධයෙන් ප්‍රශ්න කළේය.

පසුගිය කාරක සභා රැස්වීමේදී සාකච්ඡා කළ කාලසීමාවට සාපේක්ෂව මෙවර දක්වා ඇති කාලසීමාව තවදුරටත් දීර්ඝ වී ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත්, වාහන අංක තහඩු සහ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදයන් අවසන් කිරීම සඳහා මීට පෙරද 2027 ජූලි හෝ අගෝස්තු මාසය අපේක්ෂිත කාලසීමාව ලෙස දැනුම් දී තිබූ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු නිලධාරීන් සඳහන් කළේය. ඒ අනුව, නිකුත් කිරීමට ඉතිරිව ඇති සියලුම වාහන අංක තහඩු සහ රියදුරු බලපත්‍ර 2027 අගෝස්තු මාසය වන විට නිකුත් කිරීමේ කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරන බව නිලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.