මාතලේ, පල්ලේපොල ප්‍රදේශයේ භූගත කාමරයක රහසිගතව පවත්වාගෙන ගිය මහා පරිමාණ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මහවෙල පොලිසිය සමත්ව තිබේ.

ඊයේ (14) පස්වරුවේ සිදුකළ මෙම වැටලීමේදී අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් ලබාගෙන මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය කසිප්පු ජාවාරමක් ද අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි වී ඇත.

මහවෙල පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු රහසිගත තොරතුරක් මත ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් පල්ලේපොල, තලකිරියාව ප්‍රදේශයේ පිහිටි අබලන් වූ දෙමහල් ගොඩනැගිල්ලක් පරීක්ෂා කර තිබේ. එහිදී ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි අදාළ ගොඩනැගිල්ලේ බිම්මහලේ (පොළොව යට) මෙම නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් ඇති බව හෙළි වී ඇති අතර, වසරකට අධික කාලයක සිට මෙම ජාවාරම ක්‍රියාත්මක කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, ජංගම දුරකථන සහ අන්තර්ජාල පණිවිඩ හරහා ඇණවුම් ලබාගෙන මෙම මත්පැන් තොග සිල්ලර හා තොග වශයෙන් බෙදාහැර ඇති බවයි. ඒ අනුව දඹුල්ල, ගලේවෙල, නාවුල සහ පල්ලේපොල ඇතුළු මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අදාළ මත්පැන් ප්‍රවාහනය කර අලෙවි කර තිබේ.

වැටලීමේදී ගෝඩා ලීටර් 10,000ක්, බැරල් 8ක්, මත්පැන් පෙරීමේ උපකරණ සහ ගෑස් සිලින්ඩර් ඇතුළු ද්‍රව්‍ය රැසක් පොලිස් භාරයට ගෙන ඇති අතර, පලාගිය තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.