ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙන් ජනතාවට දරන්නට සිදුව ඇති ආර්ථික බර අවම කිරීමටත්, අස්වැසුම ප්‍රතිලාභීන්ට අමතර මූල්‍ය සහායක් ලබාදීමටත් රුපියල් බිලියන 47ක පරිපූරක ඇස්තමේන්තුවක් අද (04) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවට පැවසුවේ, මෙම මුළු මුදලින් රුපියල් බිලියන 41ක් බලශක්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ වෙන් කිරීමට යෝජනා කර ඇති බවයි.

ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස තුන සඳහා ඩීසල් ලීටරයකට රුපියල් 70ක සහනයක් ලබාදීමේ රජයේ තීරණය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මුදල් මෙමගින් සපයනු ලැබේ.

ඉතිරි රුපියල් බිලියන 6 අස්වැසුම සමාජ ආරක්ෂණ වැඩසටහනේ ප්‍රතිලාභීන් වෙත අමතර ගෙවීම් සඳහා යොදා ගැනීමට නියමිතය.

ඒ අනුව, අතිදුප්පත් කාණ්ඩයේ ප්‍රතිලාභීන් සඳහා රුපියල් 6,250ක අමතර ගෙවීමක් ද, දුප්පත් කාණ්ඩයේ ප්‍රතිලාභීන් සඳහා රුපියල් 4,000ක අමතර ගෙවීමක් ද යෝජනා කර ඇත. මෙම අමතර ගෙවීම වාරික දෙකකින් ලබා දුන්නද, එය එක් වරක් පමණක් ලැබෙන ප්‍රතිලාභයක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේය.

අයවැය ප්‍රතිපාදන නැවත ගැලපීම මෙම සහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මුදල් සපයා ගනු ලබන්නේ පවතින අයවැය ප්‍රතිපාදන නැවත ගැලපීමෙනි. ඒ අනුව, රජයේ අනුමත සමස්ත වියදම් සීමාව ඉහළ නොදමා, පවතින ප්‍රතිපාදන තුළින්ම මෙම සහන සඳහා මුදල් යොමු කිරීම රජයේ සැලැස්ම බව ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අවධාරණය කළේය.