විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය, මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ට්‍රින් ති ටෑම් (Trinh Thi Tam) මහත්මිය අතර විශේෂ නිල හමුවක් ඊයේ (07) දින විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවේදී දෙරට අතර විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා අත්සන් තැබීමට නියමිත නව අවබෝධතා ගිවිසුම (MoU) සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූ අතර විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයට අදාළව දෙරට අතර ඇති කරගන්නා ප්‍රථම අවබෝධතා ගිවිසුම මෙය වීම විශේෂත්වයකි.

මෙම ගිවිසුම හරහා ඉදිරියේදී දෙරට අතර තාක්ෂණික සහයෝගීතාව වඩාත් ශක්තිමත් අයුරින් ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කෙරෙන අතර මේ වන විටත් වියට්නාම රජය පාර්ශ්වයෙන් ඊට අදාළ මූලික කෙටුම්පත් කිරීම් සහ නෛතික කටයුතු අවසන් කරමින් පවතින බව එහිදී දැනුම් දෙන ලදී.

ආසියානු කලාපය තුළ භූගෝලීය වශයෙන් මෙන්ම කෘෂිකාර්මික මුහුණුවරකින් ද සමානකම් රැසක් බෙදාගන්නා ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ඇතිවන මෙම නව විද්‍යා හා තාක්ෂණික ප්‍රවේශය, දෙරටේම ආර්ථික සහ කාර්මික සංවර්ධනයට සුවිශේෂී උත්ප්‍රේරකයක් වනු ඇතැයි අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා මෙහිදී විශ්වාසය පළ කළේය.

මීට අමතරව, තේ කර්මාන්තය සහ පර්යේෂණ, සංචාරක සහ ධීවර කර්මාන්තය යන ක්ෂේත්‍ර ඔස්සේ දෙරට අතර දැනුම සහ තාක්ෂණය හුවමාරු කරගැනීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.