2026 මාර්තු 06 වන දින, කොළඹට ආසන්න බටහිර මුහුදේ යාත්‍රාකරමින් තිබූ ජපාන ස්වයං ආරක්‍ෂක සමුද්‍රීය බලකායට අයත් “JMSDF ONAMI” යුද නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු හදිසි රෝගී තත්වයකට පත් විය.

කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට එම නෞකාවෙන් ලබාදුන් දැනුම් දීමකට කඩිනමින් ප්‍රතිචාර දැක්වූ ශ්‍රී ලංකා නාවික හමුදාව, බටහිර නාවික විධානයට අයත් නාවික යාත්‍රාවක් සහ වෛද්‍ය කණ්ඩායමක් එම මුහුදු ප්‍රදේශයට යොමු කළේය.

රෝගියා නාවික යාත්‍රාව වෙත ලබාගත් පසු, මුලික ප්‍රථමාධාර ලබාදෙමින් කඩිනමින් කොළඹ වරාය වෙත ගෙන ගොස්, වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත යොමු කරන ලදී.
ශ්‍රී ලංකා නාවික හමුදාව සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් කලාපය තුළ ආපදාකාරී තත්ත්වයන්ට නිරන්තර සුදානමින් සිටින බවද නාවික හමුදාව ප්‍රකාශ කළේය.