රාජ්‍ය ආයතන අවභාවිතා කරමින් මාධ්‍ය නිදහස මර්දනය කිරීම දැඩි ලෙස හෙළා දකිමින් සර්වජන බලය පක්ෂයේ මහලේකම් රන්ජන් සෙනෙවිරත්න විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
ප්රජාතන්ත්රවාදී රටක නිසි ප්‍රතිචාරය විය යුත්තේ විනිවිදභාවයකින් යුත් නීතිමය ක්‍රියාදාමයක් අනුගමනය කිරීම මිස, බිය ගැන්වීම හෝ නීත්‍යානුකූල මාධ්‍යකරණය අඩපණ කරන ආකාරයේ දඬුවම් සහ පීඩනයන් එල්ල කිරීම නොවන බව එම නිවේදනයේ සඳහන් වේ.
මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට බලපෑම් කිරීම සඳහා පොලිසිය, නියාමන බලධාරීන් සහ පරිපාලන යාන්ත්‍රණය දිගින් දිගටම භාවිත කිරීම ප්රජාතන්ත්රවාදී රටක් ලෙස කිසිසේත්ම පිළිගත නොහැකි බව එමගින් අවධාරණය තිබෙන අතර ඉදිරියේදී සිදුවන මාධ්‍ය බිය ගැන්වීමේ ඕනෑම සිදුවීමක් හිතාමතා සිදුකරන ප්රජාතන්ත්රවාදී පසුබෑමක් ලෙස සළකා, එවැනි ක්‍රියාවන්ට එරෙහිව දේශපාලනිකව, පාර්ලිමේන්තු මට්ටමින් සහ මහජනතාව සමඟ එක්ව හැකි සෑම පියවරක්ම ගන්නා බව සර්වජන බලය පක්ෂය සිය ලිපිය මගින් වැඩිදුරටත් දක්වා ඇත.








