2026 වර්ෂය සඳහා ඡන්දදායක සංගණන කටයුතු 2026 පෙබරවාරි 01 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව පැෆ්රල් සංවිධානය පවසනවා.

ඒ අනුව, පෙර වසරවලදී මෙන් සංගණන නිලධාරීන් සෑම නිවසකටම නොපැමිණෙන බව නිවේදනයක් නිකුත් කරමින් පැෆ්රල් සංවිධානය සඳහන් කර සිටියා.

ඔවුන් පැමිණෙන්නේ අලුතින් එකතු කරන ලද සහ ඉවත් කරන ලද නම් ඇතුළත් A සහ Aa ලැයිස්තු යාවත්කාලීන කිරීමට අදාළ නිවාස සඳහා පමණක් බවද ඔවුන් පෙන්වා දී ඇත.

පැෆ්රල් සංවිධානයට අනුව, දේශපාලන පක්ෂ නියෝජිතයන්ට සංගණනය පවත්වන ආකාරය නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලැබෙන අතර, නිලධාරීන් තොරතුරු රැස් කිරීමෙන් පසු, ඡන්ද දායකයකු ලෙස ලියාපදිංචි වීමට සුදුසුද නැද්ද යන්න පිළිබඳ නිලධාරීන්ගේ නිර්දේශද නිරීක්ෂණය කළ හැක.

අක්‍රමිකතා නිරීක්ෂණය වුවහොත්, නියෝජිතයන්ට සංගණන නිලධාරියාට ලිඛිතව දැනුම්දිය හැකි අතර එවැනි නිවේදනයක පිටපතක් අදාළ දිස්ත්‍රික් නියෝජ්‍ය හෝ සහකාර කොමසාරිස් වෙත වහාම යොමු කළ හැකි බව පැෆ්රල් සංවිධානය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.