ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2027 මුදල් වර්ෂය සඳහා වන අයවැය යෝජනාවලියේ දෙවනවර කියවීමේ විවාදය අද (13) ආරම්භ වේ. මෙය ජාතික ජන බලවේග රජය යටතේ ඉදිරිපත් කෙරුණු තෙවන අයවැය ලේඛනයයි.
අද දින සිට ආරම්භ වන දෙවනවර කියවීමේ විවාදය නොවැම්බර් 20 වනදා දක්වා දින 7ක කාලයක් පුරා පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඉන් අනතුරුව අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 20 වැනිදා පස්වරු 6.00ට සිදු කිරීමට නියමිතය.
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් තෙවනවර කියවීමේ විවාදය නොවැම්බර් 21 වනදා සිට දෙසැම්බර් 14 වනදා දක්වා දින 19ක් පුරා පැවැත්වෙනු ඇත. සමස්ත අයවැය විවාදය අවසානයේ තෙවනවර කියවීමට අදාළ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබේ.
අයවැය විවාදය පැවැත්වෙන කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දින ද ඇතුළත් වන පරිදි සෑම දිනකම පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව වාර්තා වේ.





